Accessibility Tools

Information Icon

හිමිකම් සහතිකවලට අදාළව පසුගනුදෙනු ලියාපදිංචි කිරීම

  • හිමිකම් යටතේ ලියාපදිංචි වූ ඉඩමකට අදාලව පසුව සිදුවන පසුගනුදෙනු එනම්, විකිණීම්, ත්‍යාග දීම, උකස් කිරීම, බදු දීම, ආදී ගනුදෙනු ලියාපදිංචියට ඉදිරිපත් කිරීමේ දී, 12.01 දිනැති අංක 2308/27 ගැසට් පත්‍රයේ සඳහන් ආකෘති අනුව ඉදිරිපත් කරන්න.
  • මෙම පනත යටතේ ලියාපදිංචි වූ යම් සාධන පත්‍රයක් ලියාපදිංචි කරන ලද්දේ නම් මිස එම හිමිකමට හෝ සම්බන්ධතාවයට හිමිකමක් නොලැබේ. (1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කීරීමේ පනතේ 38 වගන්තිය අනුව)
  • සාධන පත්‍රයක් සකස් කිරීමේදී / ලියාපදිංචියට ඉදිරිපත් කිරීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු
      • හිමිකම් සහතිකය සාධන පත්‍රය සමඟ ඉදිරිපත් කරන්න.
      • සාධන පත්‍රය A4 ප්‍රමාණයේ කල්පවතින සුදු පැහැය හෝ සුදු පැහැයට හුරු කඩදාසි වල සකස් කරන්න. ඇමුණුම් කිසිවක් වේ නම්, එයද A4 ප්‍රමාණයේ කඩදාසි වල සකස් කරන්න.
      • හිමිකම් අංකයට අදාළව ප්‍රතිෂ්ඨාවට සරිලන පරිදි මුද්දර ගාස්තු ගෙවා මුද්දර ගාස්තු ගෙවු කුවිතාන්සියේ මුල් පිටපත සාධන පත්‍රයට අමුණා ඉදිරිපත් කරන්න.
      • විකුණුම්, තෑගී, පැවරුම් හෝ හුවමාරු සාධන පත්‍රයක් නම් පිටපත් දෙකකින් සකස් කර එක් පිටපතක විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායාරූප අලවන්න.
      • අතුරු බෙදීමේ හෝ ඒකාබද්ධ කිරීමේ සාධන පත්‍රයක් නම් එම සාධන පත්‍රය සමඟ මිනින්දෝරු සැලැස්මේ දෘඩ පිටපත ඉදිරිපත් කරන්න.
      • විකිණිමේ සාධන පත්‍රය සමඟ කිසිදු ආකාරයේ කොන්දේසියක් හෝ ජීවීත භුක්ති බලයක් ඇතුළත් කළ නොහැක.
      • තෑගි සාධන පත්‍රයක ජීවීත භුක්තිය පැවරීම හැර වෙනත් කිසිදු කොන්දේසියක් ඇතුළත් කළ නොහැක.
      • ඇටොර්නි බලකරයක් මඟින් පැවරීමක් කිරීමේ දී එම ඇටෝර්නි බලකරය මගින් අදාළ ගනුදෙනුව සිදු කිරීමට හැකියාව තිබිය යුතුය. එමෙන්ම ඇටෝර්නි බලකරයේ හිමිකම් සහතිකය සඳහන් ඉඩම පිළිබඳව විස්තරයක් ඇතුළත් කරන්න.
      • සම අයිතිකරුවන් සිටින හිමිකම් සහතිකයක් පැවරීමේදී එම අයිතිකරුවන් වෙන වෙනම හිමිකම් සාධන පත්‍ර ඉදිරිපත් කරන්න.
      • සහධිපත්‍ය දේපළක් බවට පත් කිරීමේ සාධන පත්‍රය සමඟ තාවකාලික, අර්ධ හෝ පූර්ණ සහධිපත්‍ය ප්‍රකාශන ඔප්පුව, සහධිපත්‍ය පිඹුර හා සහධිපත්‍ය දේපළක් ලෙස පරිවර්තනය කිරීමට අදාළව අනෙකුත් සියලුම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
      • අතුරු බෙදීමේ හෝ ඒකාබද්ධ කිරීමේ සාධන පත්‍රයක් හෝ සහධිපත්‍ය දේපළක් බවට පත් කිරීමේ සාධන පත්‍රයක් ලියාපදිංචි කිරීමට පෙර වලංගු සියලුම විකුණුම් ගිවිසුම් අවලංගු කරන්න.
      • සාධන පත්‍රයක් හදුන්වා දී නොමැති ගනුදෙනු අවස්ථාවල දී පමණක් යම් පනතක් නීතීයක් යටතේ සකස් කරන ලද ලේඛනයක් සාධන පත්‍රයක් සේ භාර දිය හැකි අතර එහි, හිමිකම් සහතිකයේ විස්තර සඳහන් කරන්න.
      • සෑම සාධන පත්‍රයක්ම ලියා සහතික කිරීමේ දී 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ අංක 44 වගන්තිය හා ලියා සහතික කිරීමට අදාළ අනෙකුත් සියලුම නීතී රෙගුලාසි අදාළ කරගත යුතු වේ.
      • ලියාපදිංචි කිරීමේ ගාස්තු දිනපොත් කවුළුව වෙත මුදලින් ගෙවීම සිදු කරන්න.
      • සාධන පත්‍ර ලියා සහතික කිරීමෙන්, ලියා සහතික කළ දින සිට වැඩ කරන දින හතක් තුල ලියාපදිංචියට භාරදිය යුතුය.
      • නව හිමිකම් සහතිකයක් ඉල්ලුම් කිරීමේ ආකෘතිය (හි.ලි.31) ඉඩම‌ හිමිකරු හෝ නොතාරිස් විසින් සම්පූර්ණ කර දිනපොත් කවුළුව වෙත භාර දීම සිදු කරන්න.
රාජකාරි වේලාවන්

සතියේ දිනවල පෙ:ව 8.30 ත් ප:ව 3.00 ත් අතර අතින් ගෙනවිත් භාර දිය යුතුය. සෙනසුරාදා ,ඉරිදා සහ රජයේ නිවාඩු දින වලදී කාර්යාල විවෘත කරනු නොලැබේ.

සාධනපත්‍ර ලියාපදිංචියට ඉදිරිපත් කිරීමට හිමිකම ඇති පුද්ගලයින්
  • ඒ යටතේ යම් සම්බන්ධතාවයක් හෝ ප්‍රතිලාභයක් ඉල්ලා සිටින යම් තැනැත්තකු විසින්
  • එයින් බලපෑ යම් දේපලක් කෙරෙහි යම් සම්බන්ධතාවයක් ඇති හෝ ඒ මත අයභාරයක් ඇති යම් තැනැත්තෙකු විසින් හෝ
  • ඒ සාධන පත්‍රය ලියා සහතික කරන යම් තැනැත්තෙකු විසින් ඉදිරිපත් කරනු ලැබිය හැකිය.

(1998 අංක 21 දරණ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 40 වගන්තිය අනුව)

ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළ යුතු ලේඛන
  • මේ සඳහා භාවිතා කරනු ලබන සාධන පත්‍ර ආකෘති අංක in the Gazette No. 2308/27 dated 01.12.2022 සඳහන් වේ.
  • හිමිකරුනමට නිකුත් කරන ලද හිමිකම් සහතිකය.
  • නොතාරිස්වරයා විසින් අංක 2308/27 හා 2022.12.01 දිනැති ගැසට් පත්‍රය අනුව සකස් කර සහතික කරන ලද අදාළ සාධන පත්‍රය (විකිණුම්/ පැවරුම්, තෑගි හෝ හුවමාරු සාධන පත්‍රයක් නම් පිටපත් ‍2කින් යුතුව භාර දිය යුතුය.) හිමිකරු නමට නිකුත් කරන ලද හිමිකම් සහතිකය
  • මුද්දර ගාස්තු ගෙවන ලද රිසිට්පතේ මුල් පිටපත
    • විකිණුම් හා ත්‍යාග සාධන පත්‍ර සඳහා පළාත් ආදායම් කොමසාරිස්ට ද, උකස් හා බදු සාධන පත්‍ර සඳහා දේශිය ආදායම් කොමසාරිස්ට ද, මුද්දර ගාස්තු ගෙවා තිබිය යුතුය.
    • මුද්දර ගාස්තු ගෙවීමේ රිසිට්ප‍තෙහි ඔප්පු අංකය සඳහන් කල යුතු ස්ථානයට හිමිකම් අංකය යොදන්න.
  • පැවරීමට අදාළ සාධන පත්‍රයක් නම් නව හිමිකම සහතිකයක් ලබා ගැනීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය (හි.ලි 31 අයදුම්පත)
  • පාර්ශ්වයන්ගේ ජාතික හැදුනුම්පතේ, විදේශ ගමන් බලපත්‍රයේ  හෝ රියදුරු බලපත්‍රයේ සහතික පිටපතක් ඉදිරිපත් කල යුතුය. 
  • ලියාපදිංචි කිරීමේ කවුළුව වෙත පෙ:ව 8.30 සහ ප:ව 3.00 අතර භාර දිය යුතුය.
ලේඛන ලියාපදිංචි කරගත හැකි ආකාර

මෙම සේවාවන් කඩිනම් හා සාමාන්‍ය සේවා යන ආකාර 2 කින්ම සිදු කර ගත හැකිය.

කඩිනම් සේවාව

ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල මගින් කඩිනම් සේවාව යටතේ ලියාපදිංචි කල හැකි ලේඛන

  • විකුණුම්කර
  • තෑගි
  • පැවරුම්
  • විකිණීමේ ගිවිසුම්
  • විකිණීමේ ගිවිසුම් අවලංගු
  • උගස්කර
  • ලිපිනය
  • උගස් පනතේ 47 වගන්තිය යටතේ වූ ප්‍රකාශය
  • උගස් අවලංගුව
  • බදු
  • බදු අවලංගුව
  • පූර්වතා දැන්වීම්
  • ජීවිත බුක්තිය අවලංගු කිරීම්
  • රජයේ අවලංගු කළ නොහැකි ඇටෝර්නි බලකර

හිමිකම් පසුගනුදෙනු ලියාපදිංචි කිරීමට අදාළ ලියාපදිංචි කිරීමේ ගාස්තු පමණක් ඉඩම පිහිටි ප්‍රදේශයේ  හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට පැමිණ දිනපොත් කවුළුව වෙත භාර දිය යුතු වේ.