නිවසක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම

  • මරණය සිදුවී දින 05 ක් ඇතුලත ග්‍රාම නිලධාරී වෙත දැනුම් දිය යුතුය.
  • සෑම මරණයක් සම්බන්ධයෙන්ම එකී මරණයට අදාලව B24 ආකෘති පත්‍රය ප්‍රකාරව පිලියෙල කළ වාර්තාවක් ග්‍රාම නිලධාරී විසින් මරණය සිදු වු ස්ථානයට අදාල උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වෙත යැවිය යුතුය.
  • මරණය ලියාපදිංචි කරනු ලබන්නේ මරණය සිදුවූ ස්ථානයට අදාල උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි.
  • මරණ ලියාපදිංචි කිරීම CR02 ආකෘතිය රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබාගත හැකිය.
  • මරණය දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
    • මරණය සිදුවන අවස්ථාවේදි එහි සිටි කිට්ටුම නෑදෑයා
    • අවසන් වරට රෝගීව සිටියදී උපස්ථානය කළ කිට්ටුම නෑදෑයා
    • එවැනි නෑදෑයකු නොමැතිවූ විට,
      • මියගිය අය පදිංචි රෙජිස්ට්‍රාර් කොට්ඨාශය තුල වාසය කරන මියගිය තැනැත්තාගේ නෑදෑයකු
    • එවැනි නෑදෑයකු නොමැතිවූ විට,
      • මරණය සිදුවන අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙක්
      • මරණය සිදුවූ ගොඩනැගිල්ලේ පදිංචිකරු
    • ඉහත සඳහන් පුද්ගලයන් නොමැතිවූ විට,
      • මළ සිරුර වැළලීමට, ආදාහනය කිරීමට හෝ වෙනත් ආකාරයකින් ඒ පිළිබඳ අවසන් කටයුතු කරන පුද්ගලයා
  • මරණය සිදු වී මාස 03 ක් ඇතුලතදී මරණය නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැකිය.
  • මරණය සිදු වී මාස 03 කින් පසුවද මරණය ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ මරණ ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න.
  • දැනුම් දෙන්නා වෙත නොමිලයේ මරණ සහතිකයක් නිකුත් කරනු ලැබේ.

** ඔබට එම මරණ ලේඛනය ලද විට කියවා බලා පරික්ෂා කොට රැගෙන යාමට කාරුණික වන්න.

(1951 අංක 17 දරණ උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරිමේ පනතේ ප්‍රතිපාදන අදාල වේ.)

රෝහලක (රජයේ හෝ පෞද්ගලික) සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම

  • මරණය සිදු වූයේ රෝහලක නම්, එම රෝහලට අදාල උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයාට මරණය ලියාපදිංචි කිරීමට දැනුම් දිය යුතුය.
  • මරණය දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය (ලියාපදිංචි කිරීම CR02 ආකෘතිය) උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබා ගත යුතුය.
  • මරණය ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
    • මිය ගිය අයගේ ඥාතීයකු
    • මරණය සිදු වන අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙක් 
    • රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරී
  • ඉදිරිපත් කළයුතු ලියවිලි,
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද ලියාපදිංචි කිරීම CR02 ආකෘතිය
    • මරණය සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
  • මාස 03 ක කාල සීමාවක් ඇතුලතදී මරණයක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැකිය.

** ඔබට එම මරණ ලේඛනය ලද විට කියවා බලා පරික්ෂා කොට රැගෙන යාමට කාරුණික වන්න.

(1951 අංක 17 දරණ උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ ප්‍රතිපාදන අදාල වේ.)

ලියාපදිංචි කළ වත්තක සිදුවන මරණයක් ලියාපදිංචි කිරීම

  • මරණය සිදුවී පැය 24 ක් ඇතුලත පහත සඳහන් සුදුසුකම්ලත් පුද්ගලයන් විසින් වතු අධිකාරිවරයා වෙත මරණය දැනුම් දිය යුතුය.
  • දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
    • මියගිය අයගේ ඥාතීයකූ
    • මරණය සිදු වන අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙක්
    • මරණය සිදුවු ගොඩනැගිල්ලේ පදිංචිකරු
    • මරණය පිලිබද අවසන් කටයුතු කරන අය
  • ඉදිරිපත් කළයුතු ලියවිලි,
    • මරණයට පත් වූ අයගේ වෛද්‍ය වාර්තා තිබේනම්
    • මරණයට පත් වූ අයගේ සායන වාර්තා තිබේනම්
  • වතු අධිකාරිවරයා විසින් මරණ වාර්තාව සටහන් කර සහතික කල වතු අධිකාරි මරණ වාර්තාව (ලියාපදිංචි කිරීම CR02 ආකෘතිය) සමගින් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත යොමු කෙරේ.  අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් මරණය ලියාපදිංචි කර මරණ සහතිකය අදාළ වතු අධිකාරිවරයා වෙත යොමු කෙරේ.  අයදුම්කරුට වතු අධිකාරිවරයාගේ කාර්යාල‍‍යෙන් මරණ සහතිකය නොමිලයේ ලබා ගත හැකිය.

විදේශ රටකදී සිදුවු ශ්‍රී ලංකිකයකුගේ මරණයක් විදේශයක දී ලියාපදිංචි කිරීම

  • මරණය සිදු වු වහාම එය අදාල රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය / මහ කොමසාරිස් කාර්යාලය වෙත වාර්තා කළ යුතුයි.
  • දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
    • මැරුණු අයගේ ඥාතීයකූ විසින්
    • මරණය සිදුවු අවස්ථාවේ ළග සිටි පුද්ගලයෙක්
  • ඉදිරිපත් කළයුතු ලියවිලි
    • මරණයට පත් අයගේ ගමන් බලපත්‍රයේ පිටපතක්
    • එම රටේදී නිකුත් කළ මරණ සහතිකය
    • අවසාන කටයුතු ශ්‍රී ලංකාවේ කරන්නේ නම් ප්‍රවාහන බිල්පත්
    • විදේශ අමාත්‍යාංශය නිකුත් කළ ලිපිය (ශ්‍රී ලංකාව තුළ අවසන් කටයුතු කරන්නේ නම්)
  • ශ්‍රී ලංකා තානාපති / මහ කොමසාරිස් විසින් මරණය ලියාපදිංචි කරයි. මේ සදහා අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය / මහ කොමසාරිස් කාර්යාලය විසින් අය කරනු ලබන ගාස්තු ගෙවිය යූතුය.

විදේශ රටකදී මිය ගිය අයෙකුගේ මරණය මෙරට දී ලියාපදිංචි කිරීම

  • මරණකරු ශ්‍රී ලාංකීක හෝ ද්විත්ව පුරවැසි බව ඇති අයකු විය යුතුය.
  • මරණකරුගේ කලාත්‍රයා,මව පියා සහෝදරයකු දරුවකු හෝ ඒ් කිසිම අයකු නොමැති නම් මරණයේ අවසන් කටයුතු කල අයට මරණය ලියාපදිංචි කිරීම සඳහා ප්‍රකාශකරුවා ලෙස ඉදිරිපත් විය හැකිය.
  • අවශ්‍ය ලේඛණ (මුල් පිටපත් හා ඡායා පිටපත් කට්ටලයක් ඉදිරිපත් කල යුතුය)
    • නිසි ලෙස සම්පුර්ණ කරන ලද ප්‍රකාශ පත්‍රය
    • විදේශ මරණ සහතිකය
    • මරණ සහතිකයේ මරණයට හේතූව සඳහන්  වී නොමැති නම් මරණයට හේතුව සඳහන් වන වාර්තාව
    • මරණකරුගේ උප්පැන්න සහතිකය
    • මරණකරුගේ විදේශ ගමන් බලපත්‍රය
    • දේහය මෙරටට ගෙන ආවේ නම් කාගෝ රිසිට්පත
    • ප්‍රකාශකරුගේ ඥාතීත්වය සනාථ කරන ලේඛණයක්(උප්පැන්න හෝ විවාහ සහතිකයක)
    • තානාපති / මහ කොමසාරිස් මරණය දැනුම් දුන් අයට මරණ සහතිකය නොමිලයේ නිකුත් කරනු ලබයි. ‍
  • මරණය සිදු වී මාස 03 ක් ඇතුලත අදාල රටෙහි ශ්‍රී ලංකා තනාපති කාර්යාලය හරහා එම මරණය ලියාපදිංචි කරවා ගැනීමේ හැකියාව පවතින අතර මාස 03 කාලය ඉක්ම වු විට මාලිගාවත්ත මධ්‍යම ලේඛනාගාරය වෙත ගොස් අදාල මරණය ලියාපදිංචි කරවා ගත හැකියි.
    • ලියාපදිංචි ගාස්තු වශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ Consular අංශයට රු.8 180 ක් ගෙවා ලබා ගත් රිසිට් පත(සරණාගතභාවය තහවුරු කළ නොහැකි අවස්ථාවක්දී)
    • ප්‍රකාශකරුගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්
  • ප්‍රකාශකරුගේ ලිපිනය හා රු.100/-ක මුද්දර සහිත 9*4 ප්‍රමාණයේ ලියුම් කවරයක්සිං
  • හල ඉංග්‍රීසි හා දෙමළ භාෂා වලින් හැර වෙනත් භාෂාවලින් ඇති ලේඛන වල පරිවර්තනයන් ඉදිරිපත් කල යුතුය.
  • විදේශ මරණ සහතිකයේ මරණයට හේතූව සඳහන්ව නොමැති වි‍ට මරණයට හේතූව සනාථ කිරීම අනිවාර්ය වේ.

ලියාපදිංචි නොකල මරණයක් ලියාපදිංචි කිරීම

කල්ගතවූ මරණයක් ලියාපදිංචි කිරීම

  • මරණයක් සිදුවී මාස තුනක් ඇතුලත දී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි මරණයක් ලියාපදිංචි කරවා ගැනීමට පුළුවන.
  • එම ප්‍රකාශය කර තිබෙන්නේ එහි සඳහන් මරණය සිදුවී අවුරුදු 25කට වැඩි නොවන කාලයක් තුලදි නම් පමණක් මරණය ලියාපදිංචි කළ හැක.
  • ප්‍රකාශ පත්‍රය මරණය සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
  • ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි පුද්ගලයන්
    • මරණයක් සිදුවන අවස්ථාවේ එහි සිටි හෝ මියගිය තැනැත්තා අවසන් වරට රෝගීව සිටියදී ඔහුට උපස්ථානය කළ කිට්ටුම නෑදෑයා
    • උනන්දුවක් දක්වන වෙනත් අය
  • ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 60.00 කි.

මරණ ලේඛණයක ඇතුලත් විස්තර සංශෝධනය කිරීම

  • ප්‍රකාශ පත්‍රය මරණය සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
  • ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ පහත සඳහන් පුද්ගලයන්ගෙන් කෙනෙකු විසිනි.
    • සිද්ධිය ලියාපදිංචි කිරීම පිණිස ආරංචි සැපයු පුද්ගලයා
    • කාරණය පිළිබඳව සත්‍යතාවය දන්නා විශ්වාස කටයුතු පුද්ගලයා
  • මරණ ලේඛණයක ලියාපදිංචි කිරීමේ දිනය හැර අනිකුත් සියළුම තොරතුරු සංශෝධනය කළ හැකිය.
  • ප්‍රකාශ පත්‍රයට සැපයිය යුතු ගාස්තුව රු. 60.00 කි.
  • ප්‍රකාශ පත්‍රය සමඟ ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම ලබා ගත හැකි ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරන්න.

අතුරුදහන් වූ තැනැත්තන්ගේ මරණ ලියාපදිංචි කිරීම/ දක්නට නොමැති බවට වූ සහතික  නිකුත් කිරීම

සමහර පුද්ගල අතුරුදහන්වීම් මරණයක් වශයෙන් සනාථ කිරීමට තරම් සාක්ෂි නොමැති වීම නිසා හෝ එම පුද්ගලයන් වෙනුවෙන් මරණ සහතිකයක් ලියාපදිංචි කරගැනීමට ඥාතීන් අකමැති වීම හේතුවෙන්, එම අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් ලියාපදිංචි කරන ලද කිසිඳු නීතිමය ලියවිල්ලක් නොමැති වීමෙන් ඔවුන්ගේ ඥාතීන්ට විවිධාකාර ගැටළුවලට මුහුණ දීමට සිදුවේ.

මෙවැනි පුද්ගලයින් සඳහා මරණ සහතිකයක් හෝ දක්නට නොමැති බවට වූ සහතිකයක් ලබා දීම සම්බන්ධයෙන් පහත පනත් මගින් ප්‍රතිපාදන සලසා ඇත.

එබැවින්, උතුරු හා නැගෙනහිර පළාත්වල සිදුවූ ගැටුම් හෝ එම ගැටුම්වලට පසුව හෝ දේශපාලන නොසන්සුන්තාව හෝ සිවිල් කැරලි කෝලාහල හෝ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වල ප්‍රතිඵලයක් වශයෙන් අතුරුදහන්වී ඇති බවට වාර්තා කර ඇති තැනැත්තන් හෝ ක්‍රියාන්විතයේදී අතුරුදහන් වූ ලෙස හඳුනාගෙන ඇති සන්නද්ධ හමුදාවල හෝ පොලිසියේ සාමාජිකයන් යන අයගේ අතුරුදහන් වීම් හා ස්වාභාවික ව්‍යසන හෝ විපත්ති හේතුවෙන් අතුරුදහන් වී ඇති තැනැත්න්ගේ මරණ ලියාපදිංචිය හා පරික්ෂණ කොමිෂන් සභා හෝ විශේෂ ජනාධිපති සභාවක් විසින් හෝ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳව කාර්යාලය විසින් අනාවරණය කරගනු ලබන තොරතුරු මත පදනම්ව ඉල්ලීීීම් සිදු කල හැකිය.

දක්නට නොමැති බවට වූ සහතිකයක්" ඉල්ලුම් කල යුත්තේ, අතුරුදහන්වී ඇති අයගේ ඥාතියෙකු විසිනි.
සැ.යු. - පනතේ 14 වගන්තියේ අර්ථ නිරූපනය අනුව "ඥාතියා " යනු,

  • කලත්‍රයා;
  • දරුකමට හදාගත් ළමයින්, විවාහ නොවූ දෙමාව්පියන්ගේ ළමයින් හෝ සුළු දරුවන් ඇතුළත්ව දරුවන්;
  • දෙමව්පියන්, සුළු මව, සුළු පියා, දරුකමට හදාගැනීමට ලබා ගත් තැනැත්තා;
  • පූර්ණ හෝ අර්ධ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ දරුකමට හදාගත් සහෝදරයන් හෝ සහෝදරියන්;
  • මාමණඩිය, නැන්දණිය, මස්සිනාවරුන්, නෑනාවරුන්, බෑණාවරුන්, ලේලිවරුන්;
  • මුණුපුරු, මිණිපිරියන් සහ සීයලා සහ ආච්චිලා.

ඉල්ලුම් කළ යුතු ආකාරය

අතුරුදහන් වී එක් වසරකට වඩා ගතවී ඇති තැනැත්තන් වෙනුවෙන්, "දක්නට නොමැති බවට වූ සහතිකයක්" ලියාපදිංචි කිරිම සඳහා ඉල්ලුම් කල යුත්තේ, අතුරුදහන්වී ඇති අය අවසන් වරට පදිංචිව සිටි හෝ ඔහුගේ ස්ථිර වාසස්ථානය පිහිටි ප්‍රදේශයේ, දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතය.

ඉල්ලුම්පත් සමග තිබිය යුතු අතිරේක ලියවිලි  (පනතේ 8 ආ වගන්තිය)

පිටපත් හා පරිවර්තන ලබා ගැනීම

මරණ සහතිකවල පිටපත් ලබා ගැනීම

  • මරණ සහතිකයේ පිටපත් ලබාගත යුත්තේ මරණය සිදුවූ ප්‍රදේශය අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.
  • අදාල සහතිකය දත්ත පද්ධතියේ ඇත්නම් ලඟම ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ද එහි සහතික පිටපත් ලබා ගත හැකිය.
    • දත්ත පද්ධතියේ ඇත් ද යන්න ලඟම ඇති ප්‍රාදේශිය ‌ලේකම් කාර්යාලයෙන් පරික්ෂා කර ගත හැක.
    • 1960 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා සහතික දත්ත පද්ධතිය මගින් ලබාගත හැක.
  • අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
  • අයකරනු ලබන ගාස්තු,
    • මරණ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.120.00
    • මරණ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන අවස්ථාවක එක පිටපතකට ගාස්තුව රු.250.00
  • අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ ලංකා බැංකුවේ (පිටකොටුවේ ශාඛාවේ) 7041650 දරණ ගිණුම් අංකයට ගෙවන්න.
  • සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාර දෙන්න.
  • මරණ සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න.
  • මරණ ලියාපදිංචි වී තිබේ නම්, මරණ සහතිකයක් යවනු ලබන අතර මරණය ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව දන්වා ලිපියක් යවනු ලැබේ.

** එසේම https://online.ebmd.rgd.gov.lk වෙත පිවිසීමෙන් Online ක්‍රමවේදය ඔස්සේ සහතික පිටපත් ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී.

මරණ සහතිකවල පරිවර්තන පිටපත් ලබා ගැනීම

  • ලබාගත හැකි පරිවර්තන
    • සිංහල - ඉංග්‍රීසි
    • ඉංග්‍රීසි - සිංහල
    • දෙමළ - ඉංග්‍රීසි
    • ඉංග්‍රීසි - දෙමළ
  • ඉල්ලුම් පත්‍ර භාරගන්නා වේලාව : පෙ.ව. 9.00 - ප.ව. 2.30
  • ඉල්ලුම් පත්‍ර පරිවර්තකයින් සේවය කරන කාර්යාල වලින් ‌හෝ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. document-download
  • ඉදිරිපත් කළයුතු ලියවිලි,
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
    • පරිවර්තනය කළයුතු මරණ සහතිකයේ මුල් පිටපත හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගත් සහතික පිටපතක්
    • තැපෑලෙන් ලබාගන්නේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්
  • පරිවර්තන ගාස්තු
    • එක් පරිවර්තන පිටපතක් සඳහා රු.600.00 කි.
    • ඕනෑම පරිවර්තන ප්‍රමාණයක් ලබාගත හැක.
  • ගතවන කාලය : කාර්යාල දින 07 කි.
  • දැනට එක් දින සේවයක් නොමැත.

ලිපිනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමතන්න
+94 112 889 488 - 489

ලියන්න
info@rgd.gov.lk