දැක්ම

මහජනතාවගේ සිවිල් අයිතිවාසිකම් නිශ්චල හා චංචල දේපල වල නීත්‍යානුකූල අයිතිය තහවුරු කරල ලිපි ලේඛන ලියාපදිංචිය, සංරක්ෂණය සහ සහතික පිටපත් නිකුත් කිරීමේ ජනතා කේන්ද්‍රිය සේවා සම්පාදනයේ පෙර ගමන්කරු වශයෙන් කටයුතු කිරීම.

මෙහෙවර

චංචල හා නිශ්චල දේපළවලට අදාළ නෛතික ලේඛන ලියාපදිංචි කිරීම සහ ශ්‍රී ලංකාවේ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම සහ ජන ජීවිතයේ වැදගත් අවස්ථා වන විවාහ, උපත් සහ මරණ ලියාපදිංචි කිරීම, එම ‍ලේඛන සංරක්ෂණය කිරීම සහ ඉල්ලීම මත ඒවායේ සහතික කරල ලද පිටපත් නිකුත් කිරීම සහ එමගින් ජනතාවට සිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහාය වීම.

 

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබූයේ ශ්‍රී ලංකික ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව උප්පැන්න, විවාහ හා මරණ සහ දේපලවලට අදාළ නෛතික ලේඛන ලියාපදිංචි කිරීම උදෙසාය.

1864 වසරේදී දෙපාර්තමේන්තුව මුළින්ම ස්ථාපිත කරනු ලැබූයේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යය සඳහා වන අතර සිවිල් ලියාපදිංචි කිරීමේ කටයුතු එනම් උප්පැන්න, විවාහ හා මරණ ලියාපදිංචි කිරීම දෙපාර්තමේන්තුවට පවරනු ලැබූයේ 1867 වසරේදීය.

ලේඛන ලියාපදිංචිය හා හිමිකම් ලියාපදිංචිය සඳහා දිවයින පුරා පිහිටුවා ඇති කලාප භාර නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාල 07 ක්,  දිස්ත්‍රික් සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාල 14, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල 50, මධ්‍යම ලේඛනාගාර 4 සහ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාල 334 පිහිටුවා ඇත.

1998 වර්ෂයේ අංක 21 දරණ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම ද මෙම දෙපාර්තමේන්තුවට පැවරී ඇති කාර්යයකි. ඒ අනුව මෙරට ප්‍රධානතම දෙපාර්තමේන්තුවක් වන රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පුළුල් ක්ෂේත්‍රයක කටයුතු ආවරණය කරමින් මහජනතාවට වඩා කාර්යක්ෂමව සේවය සපයමින් සිටී.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව තම දැක්ම හා මෙහෙවර ඉටු කර ගැනීම උදෙසා සියලු අංශ හා සමස්ථ පරිපාලන පද්ධතිය දිශාගතව ක්‍රියා කරන අතර , තම සේවාවේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සහ ජනතා හිතකාමී කාර්යක්ෂම සේවාවක්  සපයනු වස් නවීන තාක්ෂණය ඔස්සේ තම සංවර්ධන හා පර්යේෂණ සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති අතරම අන්තර්ජාතික වශයෙන් තම විෂය පථයට අදාළව නව ප්‍රවණතා අධ්‍යනය කරනු ලබනු අතර මේ වන විටත්, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මඟින් ඉ-විඋම, ඉ - ඉඩම්, ඉ- ජනගහණ, ඉ-හිමිකම් ඇතුළු ඉ-වැඩසටහන් ද, පත්තිරු සහ ඔප්පු නිකුත් කිරීමේ එක් දින සේවා වැඩසටහන හා මාර්ගගත ක්‍රමය ඔස්සේ උප්පැන්න, විවාහ මරණ සහතික නිකුත් කිරීිමේ වැඩසටහන ශ්‍රි ලාංකික ජනතාවට දායාද කොට ඇත.

දෙපාර්තමේන්තුවේ අරමුණු

  • ඔප්පු 20000  වැඩි ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවල එක් දින සේවා වැඩසටහන් පැවැත්වීම.
  • මාර්ගස්ථ ක්‍රමය ඔස්සේ උප්පැන්න විවාහ මරණ සහතික නිකුත් කිරිමේ වැඩසටහන ශ්‍රී ලංකා ජනතාවට දායාද කිරීම.
  • සියලු ආයතන පිළිගනු ලබන අන්තර්ජාතික උප්පැන්න සහතිකයක් රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්සනින් යුතුව නිර්මාණය කිරිම.

 

ලිපිනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමතන්න
+94 112 889 488 - 489

ලියන්න
info@rgd.gov.lk