උප්පැන්න, විවාහ හා මරණ සහතික ලියාපදිංචි කිරීම හා පිටපත් නිකුත් කිරීම

  • දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 334 යටතේ පිහිටා ඇති එක් එක් රෙජිස්ට්‍රාර් කොට්ඨාසයට පත් කර ඇති උප්පැන්න විවාහ හා මරණ රෙජිස්ට්‍රාර්වරුන් විසින් මෙම ලේඛණ ලියාපදිංචි කරනු ලබයි.
  • සහතික පිටපත් නිකුත් කරනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගිනි .
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි පිහිටා ඇති දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය විවෘතව පවතින්නේ සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව.3.45 දක්වා වේ. (මුදල් කවුළු විවෘතව පවතින්නේ ප.ව 3.00 දක්වා පමණි.)
    • සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන්හිදී සාමාන්‍ය රාජකාරී කටයුතු සඳහා කාර්යාල විවෘත කරනු නොලැබේ.
  • කොට්ඨාස රෙජිස්ට්‍රාර්වරුන්ගේ කාර්යාල වේලාවන් පෙ.ව.10.00 සිට ප.ව.2.00 දක්වා වේ.

උපත් ලියාපදිංචිය සිදු කරනු ලබන්නේ අදාල සිද්ධිය සිදු වූ ස්ථානය පදනම් කරගෙනය.

නිවසක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම

  1. උපත සිදුවී දින 07ක් ඇතුලත ග්‍රාම නිලධාරී වෙත දැනුම් දිය යුතුයි.
  2. සෑම උපතක් සම්බන්ධයෙන්ම එකී උපතට අදාලව B23 ආකෘති පත්‍රය ප්‍රකාරව පිලියෙල කල වාර්තාවක් ග්‍රාම නිලධාරී විසින් උපත සිදු වු ස්ථානයට අදාල උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වෙත යැවිය යුතුය.
  3. උපත ලියාපදිංචි කරනු ලබන්නේ උපත සිදුවූ ස්ථානයට පත් කර ඇති උප්පැන්න හා මරණ කොට්ඨාසයේ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. (උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් ලැයිස්තුව)
  4. නිවැරදිව සම්පූර්ණ කරන ලද ලියාපදිංචි කිරීම CR01 ආකෘතිය උපන් ස්ථානයට අදාළ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත ලබා දිය යුතුය. එම ලියාපදිංචි කිරීම CR01 ආකෘතිය උපන් ස්ථානයට අදාල උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයාගෙන් හෝ වෙබ් අඩවියෙන් භාගත කර ගැනීමට හැකියාව.  document-download
  5. උපතක් දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
    • පියා
    • මව
    • දරුවා උපන් අවස්ථාවේදී ළඟ සිටි පුද්ගලයන්
    • භාරකරුවන්
  6. උපතක් දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන් විසින් උපත ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කල යුුුතු ලියවීලි
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද ලියාපදිංචි කිරීම CR01 ආකෘතිය
    • දෙමව්පියන්ගේ විවාහ සහතිකයේ ඡායා පිටපතක් (එසේ නොමැති නම් අංක 7 බලන්න.)
    • දෙමව්පියන්ගේ උප්පැන්න සහතික වල ඡායා පිටපත්
    • ජාතික හැඳුනුම්පතේ මුල් පිටපත හා ඡායා පිටපතක්
  7. දෙමාපියන් අවිවාහක නම් පියාගේ තොරතුරු ඇතුලත් කිරීම පිණිස මව්පියන් දෙදෙනාම, උපත සිදු වූ ස්ථානයට අදාල උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත යා යුතුයි.
  8. උපත සිදු වී මාස 03ක් ඇතුලතදී උපත නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක. උපත සිදු වී මාස 03කින් පසුවද උපත ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ උපත් ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න.
  9. උපතක් ලියාපදිංචියෙන් පසු දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න ලේඛනයේ පිටපතක් නිකුත් කරනු ලැබේ.
  10. උපන් දිනය හා ස්ථානය මවගේ දන්නා තොරතුරු මත පමණක් වුවද (අවස්ථානුකූලව ඊටත් වඩා අඩු තොරතුරු ඇතුලත් කර වුවද), උපතක් ලියාපදිංචි කිරීමට හැකියාව පවතී. එහිදී ලබා දෙනු ලබන තොරතුරු වලට අදාල තීර පමණක් සම්පූර්ණ කර උප්පැන්න ලේඛණයක් නිකුත් කෙරේ.

** ඔබට එම උප්පැන්න ලේඛනය ලද විට කියවා බලා පරික්ෂා කොට රැගෙන යාමට කාරුණික වන්න.

(1951 අංක 17 දරණ උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ විධිවිධාන අදාල වේ.)

රෝහලක (රජයේ හෝ පෞද්ගලික) සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම

  • උපතක් ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ ස්ථානයට අදාල උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. (උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් ලැයිස්තුව) උපත සිදු වූයේ රෝහලක නම්, එම ස්ථානයට අදාල හෝ රෝහලට පත් කර සිටින රෙජිස්ට්‍රාර්වරයාට උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දිය යුතුයි.
  • උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
    • පියා
    • මව
    • දරුවා උපන් අවස්ථාවේ දී ලඟ සිටි පුද්ගලයන්, දරුවා භාරව සිටින පුද්ගලයන්
    • රෝහලේ වෛද්‍ය නිලධාරී
  • දෙමව්පියන් අවිවාහක නම් පියාගේ තොරතුරු ඇතුලත් කිරීම පිණිස මව්පිය දෙදෙනාට, උපත සිදු වූ රෝහලට අදාල උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත යා යුතුයි.
  • උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ලියාපදිංචි කිරීම CR01 ආකෘතිය, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබා ගත හැකි අතර වෙබ් අඩවියෙන් ද භාගත කර ගත හැකිය. document-download
  • උපතක් දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයින් විසින් උපත ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කළයුතු ලියවිලි
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද ලියාපදිංචි කිරීම CR01 ආකෘතිය
    • උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
    • දෙමව්පියන්ගේ විවාහ සහතිකයේ ඡායා පිටපතක්
    • දෙමව්පියන්ගේ උප්පැන්න සහතික වල ඡායා පිටපතක්
    • ජාතික හැඳුනුම්පතේ මුල් පිටපත හා ඡායා පිටපතක්
  • දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න ලේඛණයේ පිටපතක් නිකුත් කරනු ලැබේ.

** ඔබට එම උප්පැන්න ලේඛනය ලද විට කියවා බලා පරික්ෂා කොට රැගෙන යාමට කාරුණික වන්න.

(1951 අංක 17 දරණ උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ විධිවිධාන අදාල වේ.)

ලියාපදිංචි වත්තක් තුළදී සිදුවන උපතක් ලියාපදිංචි කිරීම

  • උපත සිදුවී දින 07ක් ඇතුලත පහත සඳහන් උපතක් ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන් විසින් වතු අධිකාරිවරයා ‍වෙත (වතු අධිකාරිවරයෙකු නොමැති හෝ වතු අධිකාරි විසින් දැනුම් දීමට භාර නොගන්නේ නම් උපන් ස්ථානයට අදාලව පත් වී සිටින ග්‍රාම නිලධාරි වෙත) උපත දැනුම් දිය යුතුයි.
  • වතු අධිකාරිවරයෙකු නොමැති විට උපත ග්‍රාම නිලධාරි වෙත දැනුම් දෙන්නේ නම් ඒ සඳහා නිවසක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම විස්තර බලන්න.
  • දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
    • පියා
    • මව
    • උපන් අවස්ථාවේදී ළඟ සිටි පුද්ගලයන්
    • භාරකරුවන්
  • වතු අධිකාරිවරයා විසින් වතු උපත් වාර්තාව සහතික කර උපත ලියාපදිංචි කරන ලද පුද්ගලයන් දෙනු ලබන ලද ලියාපදිංචි කිරීම CR01 ආකෘතිය ද සමඟ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි හරහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත යොමු කෙරේ.
  • අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් උපත ලියාපදිංචි කර උප්පැන්න සහතිකය අදාළ වතු අධිකාරිවරයා වෙත යොමු කෙරේ.
  • දැනුම් දෙන්නාට වතු අධිකාරිවරයාගෙන් උප්පැන්න සහතිකය නොමිලයේ ලබා ගත හැකිය.

** ඔබට එම උප්පැන්න ලේඛනය ලද විට කියවා බලා පරික්ෂා කොට රැගෙන යාමට කාරුණික වන්න.

(1951 අංක 17 දරණ උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේවිධිවිධාන අදාල වේ.)

විදේශයක සිදු වූ උපතක් අදාල රටේ දී ලියාපදිංචි කිරීම

  • ශ්‍රී ලාංකික මව්පියන්ට (එක් පාර්ශවයක්වත් ශ්‍රී ලාංකික විය යුතුයි.) දාව විදේශයන් හි උපත ලබන දරුවන්ගේ උපත් විදේශයන්හි දී ලියාපදිංචි කරගත හැක.
  • උපත ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ රටේ පිහිටි ශ්‍රී ලංකා තානාපති / ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙනි.
  • උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශ පත්‍රය ශ්‍රී ලංකා තානාපති / ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් ලබාගත හැකිය.
  • උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
    • පියා
    • මව
    • භාරකරු
  • ඉදිරිපත් කළ යුතු ලියවිලි, (මුල් පිටපත් හා ඡායා පිටපත් කට්ටලයක් ඉදිරිපත් කල යුතුය.)
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශ පත්‍රය
    • උපත තහවුරු කිරීමට අදාල ලියවිලි (උපත ලද විදේශිය රටින් නිකුත් කල උප්පැන්න සහතිකය හෝ රෝහල් වාර්තාව)
    • දෙමව්පියන්ගේ විවාහ සහතිකයේ ඡායා පිටපතක්
    • දෙමව්පියන්ගේ උප්පැන්න සහතික වල ඡායා පිටපතක්
    • දරුවා උපදින අවස්ථාවේ භාවිතා කල විදේශ ගමන් බලපත්‍රය හා වීසා බලපත්‍රය
    • මව හා පියා විදේශයක පුරවැසි බව ලබා ඇත්නම් එම සහතිකය
  • රජයේ ගාස්තු වශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නියම කරන ලද මුදල අදාල රටේ වලංගු මුදලින් ගෙවිය යුතුය.

විදේශයක සිදු වූ උපතක් මෙරටේ දී ලියාපදිංචි කිරීම

  • අවුරුද්දක කාලසීමාවක් ඇතුලත දී රජයේ ගාස්තු ගෙවා අදාල රටේ තානාපති/මහකොමසාරිස් කාර්යාලය හරහා උපතක් ලියාපදිංචි කරවා ගත නොහැකි වුවහොත් එම උපත කල් ගත වූ උපතක් ලෙස ලියාපදිංචි කිරීමට උපත සිදුවූ රටේ තානාපති/මහකොමසාරිස් කාර්යාලයට පහත ලේඛන භාර දීමට හැකියාව පවතී.එකී ලේඛන අනුමැතිය සඳහා අදාල තානාපති කාර්යාලය මගින් මාලිගාවත්ත මධ්‍යම ලේඛනාගාරය වෙත යොමු කරනු ලබයි.
  • ඉදිරිපත් කළ යුතු ලියවිලි, (මුල් පිටපත් හා ඡායා පිටපත් කට්ටලයක් ඉදිරිපත් කල යුතුය.)
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශ පත්‍රය
    • උපත තහවුරු කිරීමට අදාල ලියවිලි (උපත සිදු වූ විදේශිය රටින් නිකුත් කල උප්පැන්න සහතිකය හෝ රෝහල් වාර්තාව)
    • දෙමව්පියන්ගේ විවාහ සහතිකය (සහතික පිටපත්)
    • දෙමව්පියන්ගේ උප්පැන්න සහතික (සහතික පිටපත්)
    • දරුවා උපදින අවස්ථාවේ මව භාවිතා කල විදේශ ගමන් බලපත්‍රය හා වීසා බලපත්‍රය
    • මව සහ/හෝ පියා විදේශයක පුරවැසි බව ලබා ඇත්නම් එම සහතිකය
  • එසේම දරුවාගේ උපත සිදු වී වසරක් ගත වීමට පෙර/ගත වීමෙන් පසු යන කිනම් හෝ කාලයක දී අදාල විදේශයේ පිහිටි තානාපති/මහකොමසාරිස් කාර්යාලය මගින් ලියාපදිංචි කර නොමැති නම්, මාලිගාවත්ත මධ්‍යම ලේඛණාගාරය වෙත ලේඛන කිරීමෙන් උපත ලියාපදිංචි කරවා ගත හැකියි.
  • උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශ පත්‍රය මාලිගාවත්ත මධ්‍යම ලේඛනාගාරයේ කොන්සියුලර් අංශයෙන් ලබාගත හැකිය.
  • උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
    • පියා
    • මව
    • භාරකරු
  • ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයට ලියාපදිංචි ගාස්තු වශයෙන් රු.13,755.00 ක මුදලක් ගෙවා ලබා ගත් රිසිට්පත ඉදිරිපත් කල යුතුයි.

** ඒ සඳහා අවශ්‍ය තොරතුරු රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරයේ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගෙන් ලබා ගැනීමට හැකියාව ඇත. දුරකථන අංකය : +94 112 329 773 හෝ +94 112 433 075 / 071 8255066

ලියාපදිංචි නොකල උපතක් ලියාපදිංචි කිරීම.

කල්ගතවූ උපත් ලියාපදිංචි කිරීම

  • උපතක් සිදුවී මාස තුනක් ඇතුලතදී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි උපතක් කල්ගත වූ උපතක් ලෙස ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇත. (8/2008 චක්‍ර්‍රලේඛය බලන්න.)
  • ඒ සඳහා උප්පැන්න විවාහ හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ 24 වන වගන්තිය යටතේ වන ප්‍රකාශ පත්‍රයක් උපත සිදුවූ ස්ථානයට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කල යුතුය. (මාස තුනේ සිට වසරක කාලයක් සඳහා ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ පත්‍රයට, ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාට අනුමැතිය ලබා දිය හැකිය.)
  • ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි අය,
    • දෙමව්පියන්‌ගෙන් කෙනෙකු
    • දරුවාගේ භාරකරු
    • උනන්දුවක් දක්වන ඕනෑම අයකු
  • ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 60.00 කි.
  • උපත සිදුවී අවුරුද්දක් ඇතුලත ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍රය සමඟ පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කල යුතුය.
    • මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකයේ සහතික කල පිටපතක්
    • විෂයගේ (උපතට අදාල තැනැත්තා) උපන් දිනය හා ස්ථානය සනාථ වන පහත සඳහන් ලියවිලි වලින් එකක්,
      • රෝහල් උපත් වාර්තාව හෝ සහතික පිටපත
      • ග්‍රාම නිළධාරී උපත් වාර්තාව හෝ සහතික පිටපත (B23)
      • වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
      • පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියගේ සහතිකයක්
  • ඉහත සඳහන් ලියවිල්ලක් නැතිනම්, ඒ වෙනුවට පහත සඳහන් ලියවිලිවලින් එකක්,
    • සෞඛ්‍ය වර්ධන සටහන
    • බෞතීස්ම සහතිකය,
    • පාසැලට ඇතුලත් කිරීමේ ලේඛණයේ සහතික පිටපත/ ශිෂ්‍ය කාර්ය දර්ශනය
    • වතු සුභසාධක නිලධාරිගේ වාර්ථාව
    • උපන් දිනට ආසන්නයේදී සකස් කරන ලද හඳහන හෝ වේලාපත්කඩය
  • මෙම ලියවිලි කිසිවක් ලබාගත නොහැකි නම්, දන්නා විස්තර ඇතුලත් කරන ලද ප්‍රකාශ පත්‍රයක් සහ දිවුරුම් ප්‍රකාශයක්
  • උපත සිදු වී අවුරුද්දක කාලය ගත වීමෙන් පසුව ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍රය සමඟ පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කළ යුතුය.
    • උපත ලියාපදිංචි වී නොමැති බවට සහතිකය (හිස් ප්‍රතිඵලය)
    • මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකයේ සහතික කල පිටපතක්
    • විෂයගේ(උපතට අදාල තැනැත්තා) පුද්ගලයාගේ උපන් දිනය හා ස්ථානය සනාථ වන පහත සඳහන් ලියවිලි වලින් එකක්,
      • රෝහල් උපත් වාර්තාව හෝ සහතික පිටපත
      • ග්‍රාම නිළධාරී උපත් වාර්තාව හෝ සහතික පිටපත (B23)
      • වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
      • පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියගේ සහතිකයක්
  • ඉහත සඳහන් ලියවිල්ලක් නැතිනම්, ඒ වෙනුවට පහත සඳහන් ලියවිලිවලින් එකක්,
    • සෞඛ්‍ය වර්ධන සටහන
    • බෞතීස්ම සහතිකය,
    • පාසැලට ඇතුලත් කිරීමේ ලේඛණයේ සහතික පිටපත/ ශිෂ්‍ය කාර්ය දර්ශනය
    • වතු සුභසාධක නිලධාරිගේ වාර්ථාව
    • උපන් දිනට ආසන්නයේදී සකස් කරන ලද හඳහන හෝ වේලාපත්කඩය
  • මෙම ලියවිලි කිසිවක් ලබාගත නොහැකි නම්, දන්නා විස්තර ඇතුලත් කරන ලද ප්‍රකාශ පත්‍රයක් සහ දිවුරුම් ප්‍රකාශයක්

අනුමාන වයස් සහතික නිකුත් කිරීම

  • උප්පැන්න සහතිකයක් ලියාපදිංචි කිරීම සඳහා නිසි තොරතුරු (රෝහල් උපත් වාර්තාව/ ග්‍රාම නිලධාරි වාර්තාව වැනි උපත සනාථ කල හැකි ලියවිලි) සැපයිය නොහැකි ඔිනෑම පුද්ගලයෙකුට අනුමාන වයස් සහතිකයක් ලබා ගැනීම සඳහා උපන් ස්ථානයට අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ඉල්ලුම් කල හැකිය.
  • අවශ්‍ය ලේඛන
    • ප්‍රකාශ පත්‍රය
    • ලේඛන සෙවීමේ ප්‍රතිඵල
    • දිවුරුම් ප්‍රකාශ හා වාර්තා
    • ග්‍රාම නිලධාරි වාර්තා
    • උපත සනාථ කල හැකි බවට වන තොරතුරු
    • උපන් දිනය සනාථ කල හැකි ලියවිලි ඉදිරිපත් කිරීම මගින් අනුමාන වයස් සහතිකයෙහි උපන් දිනය සටහන් කරගත හැකිය.
  • මේ සම්බන්ධයෙන් තවදුරටත් විස්තර අවශ්‍ය වේ නම්, ළඟම පිහිටි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් මහතා/මහත්මිය හමුවන්න. 

උප්පැන්න ලේඛනයක ඇතුළත් විස්තර සංශෝධනය කිරිම

  • උප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහනක,
    • 01 තීරයෙහි විස්තර - උපන් දිනය සහ උපන් ස්ථානය
    • 02 තීරයේ නමක් ඇතුලත් කර නොමැති අවස්ථාවක, නමක් ඇතුලත් කිරීමට හෝ උප්පැන්න ‌ලේඛණයක ඇතුලත්ව ඇති නමක් පසුව වෙනස් කිරීමට
    • 03 තීරයෙහි විස්තර - ස්ත්‍රී/පුරුෂ භාවය
    • 04 තීරයෙහි විස්තර පියාගේ තොරතුරු (ජාතිය හැර) සංශෝධනය කිරීමට
    • 05 තීරයෙහි විස්තර - මවගේ තොරතුරු සියල්ල 
    • 06 තීරයෙහි විස්තර - මව්පියන් විවාහක/අවිවාහක බව
    • 07 තිීරයෙහි විස්තර - මුත්තාගේ තොරතුරු
    • 09 තීරයෙහි විස්තර - දැනුම් දෙන්නාගේ තොරතුරු

         සංශෝධනය කිරීම කළ හැකිය.

  • ඊට අදාළ ප්‍රකාශ පත්‍රය, උපත සිදුවූ ස්ථානයට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කළ යුතුය.
  • ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ,
    • උප්පැන්නය හිමි තැනැත්තා
    • පියා හෝ මව
    • නීත්‍යානූකුල භාරකරු
    • උප්පැන්න සටහනේ ඇති යම් විස්තරයක් ගැන අතෘප්තියට පත් තැනැත්තෙකු
  • ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 60.00 කි.
  • ප්‍රකාශ පත්‍රයට, සංශෝධනය කිරීමට අපේක්ෂිත උප්පැන්න ලේඛණයේ සහතික පිටපතක් අනිවාර්යෙන්ම අමුණා තිබිය යුතුය. ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂි ඒ සමඟ ඉදිරිපත් කල යුතුය.
  • ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම සඳහා ලබා ගත හැකි ලිඛිත සාක්ෂි සමහරක් ඔබගේ පහසුව සඳහා පහත දක්වා ඇත.
    • මව්පියන්ගේ විවාහ සහතිකයේ සහතික කල පිටපතක්
    • දරු නාමාවලිය/ සහෝදර නාමාවලිය
    • පියාගේ හා මවගේ උප්පැන්න සහතික වල සහතික කල පිටපත්
    • මව්පියන්ගේ විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකුගේ උප්පැන්න ලේඛනයක සහතික කල පිටපතක්
    • විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකු නොමැති විට විෂය වූ දරුවාට වැඩිමහල් හෝ බාල දරුවකුගේ උප්පැන්න ලේඛනයක සහතික කල පිටපතක්
    • ආරෝග්‍යශාලා, මාතෘ නිවාසවල ඇති සටහන්වල සහතික පිටපත් හෝ වින්නඹු මාතාවගේ ලේඛනවල පිටපත්
    • ශිෂ්‍ය කාර්ය දර්ශනය, ළමයින් ඇතුළත් කිරීමේ ලේඛණයේ උපුටනය
    • විෂය සහ මව්පියන්ගේ නම් ඇතුළත් ඡන්ද නාමාවලියේ පිටපතක්
    • පියා මියගොස් ඇති විටෙක ඔහුගේ මරණ සහතිකයේ සහතික කල පිටපතක්

දරුවෙකු දරුකමට හදා ගැනීම

  • දරුකමට හදාගන්නා ළමයාගේ වයස අවුරුදු 14ට වැඩි නොවිය යුතුය.
  • ඉල්ලුම්කරු විසින් සපුරාලිය යුතු අවශ්‍යතා,
    • ඉල්ලුම්කරුගේ වයස අවුරුදු 25ට වැඩි විය යුතූය.
    • දරුවා හදා ගැනීමට ඉල්ලුම්කරන්නා සහ අදාළ දරුවා අතර අවම වයස පරතරය අවම අවුරුදු 21ක් විය යුතූය.
    • අදාළ දරුවා ඉල්ලුම්කරුගෙන් පැවත එන්නකු නම්, ඉල්ලුම්කරුගේ සහෝදරයකුගේ/ සහෝදරියකගේ හෝ ඔවුන්ගෙන් පැවත එන දරුවකු නම් හෝ ඒ අයගේ විවාහක පාර්ශවකරුගේ දරුවකු නම් ඉහත තත්ත්වය අදාළ නොවේ.
  • දරුකමට හදාගන්නා ළමයාගේ වයස අවුරුදු 10ට වැඩි නම් දරුවාගේ කැමැත්ත අවශ්‍ය වේ.
  • ඉදිරිපත් කරනු ලබන සහතික හා ලේඛන මත පදනම්ව දරුකමට හදා ගැනීමේ ආඥාවක් නිකුත් කරනු ලබන්නේ දිසා අධිකරණය විසිනි.
  • එම ආඥාව (අංක 4 දරණ ආකෘති පත්‍රය) මත, දරුකමට ගැනීම පිලිබඳ සහතිකය (B143 ආකෘතිය) රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන අතර, එමගින් දරුකමට හදාගන්නා ළමයාගේ උපත නැවත ලියාපදිංචි කරවා ගත හැකිය.
  • උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා පහත සඳහන් ලියවිලි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය.
    • උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය (B149)
    • මව්පියන්ගේ විවාහ සහතිකයේ සහතික කල පිටපතක්
    • මවගේ සහ පියාගේ උප්පැන්න ලේඛන වල සහතික කල පිටපතක්
    • දරුවාට මීට පෙර උප්පැන්න සහතිකයක් ලියාපදිංචි වී තිබේ නම්, එම සහතිකය හෝ ලියාපදිංචි වී නොමැති නම් හිස් ප්‍රතිඵල ලේඛණය
  • උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා ඉහත තොරතුරු සමඟ නිවැරදිව ඉදිරිපත් කරන ලද ඉල්ලුම් පත්‍රය, දරුවා උපන් ස්ථානයට අයත්වන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් යොමු කරනු ලැබේ.

 සහතික කරන ලද පිටපත් සහ පරිවර්තනය කරන ලද පිටපත් ලබා ගැනීම.

උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

  • උප්පැන්න සහතිකයේ පිටපත් ලබාගත යුත්තේ උපත සිදුවූ ස්ථානයට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.
    • අදාල සහතිකය දත්ත පද්ධතියේ ඇත්නම්, ඔබට ආසන්නයේම ඇති ඔිනෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකින් එහි සහතික පිටපත් ලබාගත හැකියි.
    • 1960.01.01 වන දින සිට 2020.12.31 දින දක්වා වූ සහතික වල පිටපත් පද්ධතිය මගින් ලබා ගත හැකිය. (දත්ත පද්ධතියේ ඇත් ද යන්න ඔබට ආසන්නයේම ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් පරික්ෂා කර තහවුරු කර ගත හැකිය.)
  • අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන්/වෙබ් අඩවියෙන් ලබාගත හැක. document-download
  • අයකරනු ලබන ගාස්තු,
    • උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට - එක පිටපතකට ගාස්තුව රු.120.00
    • උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, (වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන බැවින්) - එක පිටපතකට ගාස්තුව රු.250.00
  • අදාල ගාස්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ ලංකා බැංකුවේ (බත්තරමුල්ල ශාඛාවේ) 7039827 දරණ ගිණුම් අංකයට ගෙවීම් කර, එහි දී ලබා දෙනු ලබන ලදුපත (Bank Slip) සහ සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය, අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර සහතික පිටපත් ඉල්ලුම් කල හැකිය. ස්වයංක්‍රිය ට්‍රේලර් යන්ත්‍ර මගින් කරනු ලබන ගෙවීම් හෝ Online payment භාරගනු නොලැබේ.
  • උප්පැන්න සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම්, ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්, ඉල්ලුම් පත්‍රය හා ඉහත දක්වා ඇති පරිදි මුදල් ගෙවූ රිසිට්පත ද සමග ඉදිරිපත් කල යුතුය.
  • උපත ලියාපදිංචි වී තිබේ නම්, අදාල උප්පැන්න සහතිකයේ ඉල්ලුම් කර ඇති පිටපත් සංඛ්‍යාව ගෙවන ලද මුදල අනුව නිකුත් කරනු ලබන අතර උපත ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව B38 ආකෘතිය මගින් දන්වා යවනු ලැබේ.

** එසේම https://online.ebmd.rgd.gov.lk වෙත පිවිසීමෙන් Online ක්‍රමවේදය ඔස්සේ සහතික පිටපත් ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී.

උප්පැන්න සහතිකවල පරිවර්තන පිටපත් ලබා ගැනීම

  • මෙම සේවාව ලබගත හැකි පරිවර්තකයන් සේවය කරන, දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල පිලිබඳව වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. පරිවර්තකයින් සේවය කරන කාර්යාල
  • ලබාගත හැකි පරිවර්තන
    • සිංහල - ඉංග්‍රීසි
    • ඉංග්‍රීසි - සිංහල
    • දෙමළ - ඉංග්‍රීසි
    • ඉංග්‍රීසි - දෙමළ
  • අයදුම්පත්‍ර භාරගන්නා වේලාව :  සතියේ කාර්යාල දිනයන්හි පෙ.ව. 9.00 - ප.ව. 2.30 (සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන් හි විවෘත කරනු නොලැබේ.)
  • ඉල්ලුම් පත්‍රය පරිවර්තකයින් සේවය කරන කාර්යාලවලින් ‌‌හෝ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. document-download
  • ඉදිරිපත් කළයුතු ලියවිලි,
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
    • පරිවර්තනය කළයුතු ලේඛනයේ මුල් පිටපත හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගත් සහතික පිටපතක්
    • තැපෑලෙන් ලබාගන්නේ නම්, ඉහත අවශ්‍යතා වලට අමතරව ලබන්නාගේ ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්
  • පරිවර්තන ගාස්තු
    • එක් පරිවර්තන පිටපතක් සඳහා රු. 600.00 කි.
    • ඕනෑම පරිවර්තන ප්‍රමාණයක් ලබාගත හැක.
  • ගතවන කාලය : කාර්යාල දින 05 කි.
  • දැනට එක් දින සේවයක් නොමැත.

ලිපිනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමතන්න
+94 112 889 488 - 489

ලියන්න
info@rgd.gov.lk