සිවිල් අංශය

උප්පැන්න, මරණ සහ විවාහ සහතික පිටපත් ලබා ගන්නේ කෙසේද?

1960 සිට 2020 දක්වා කාල පරාසය තුළදී ලියාපදංචි කරන ලද උපත්,විවාහ හා මරණ සහතික පිටපත් දිවයිනේ ඔිනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හිදී ලබා ගත හැක.දත්න පද්ධතියේ ඇතුලත්ව නැති සහතික උපත,විවාහ හා මරණයය සිදුවූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතික පිටපත් ලබා ගත හැකිය. ඉල්ලුම් පත්‍ර ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගත හැකිය.

විවාහ ලියාපදිංචි කිරීම කරන්නේ කෙසේද?

විවාහ පාර්ශවකරුවන් පදිංචි කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයා හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා වෙත දින 14 කට පෙර විවාහ දැන්වීම් භාර දී විවාහය ලියාපදිංචිය පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගන්න.

ශ්‍රී ලංකාවෙන් පිටත සිදු වූ උපතක් හෝ මරණයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවෙන් පිටත සිදු වූ උපතක් හෝ මරණයක් ලියාපදිංචි කරවා ගැනීම පිණිස කොළඹ 10 මාලිගාවත්ත පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරය වෙත ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල හැකිය. උපතක් ලියාපදිංචි කිරීම පිණිස ඒ සමග මව්පියන්ගේ ගමන් බලපත්‍ර, රෝහල් වාර්තා සහ අදාල රටින් නිකුත් කල උප්පැන්න සහතිකය ඉදිරිපත් කල යුතුය. මරණයක් ලියාපදිංචි කිරීම පිණිස මියගිය තැනැත්තා පිළිබඳ තොරතුරු සහ මරණයට හේතුව සනාථ කරන ලියවිලි ඉදිරිපත් කල යුතුය.

දරුකමට හදාවඩා ගන්නා දරුවකුගේ උපත නැවත ලියාපදිංචි කර ගන්නේ කෙසේද?

දරුකමට හදාවඩා ගන්නා දරුවකුගේ උපත  නැවත ලියාපදිංචි කරවා ගැනීම පිණිස බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 234/ ඒ3 දරණ ස්ථානයේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ  ප්‍රධාන කාර්යාලය වෙත ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල හැකිය. උපතක් නැවත ලියාපදිංචි කිරීම පිණිස මව්පියන්ගේ  උප්පැන්න සහතික, විවාහ සහතිකය, දරුකමට ගැනීම පිලිබඳ සහතිකය සහ දරුවාගේ උපත කලින් ලියාපදිංචි කර ඇත්නම් එම උප්පැන්න සහතිකය ඉදිරිපත් කල යුතුය.

දරුකමට ගැනීම පිලිබඳ සහතිකයේ පිටපතක් ලබා ගන්නේ කෙසේද?

දරුකමට ගැනීම ලියාපදිංචි කරන ලද්දේ 2013.01.01 දිනට පෙරදී නම්, කොළඹ 10 මාලිගාවත්ත පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරය වෙතද, දරුකමට ගැනීම ලියාපදිංචි කරන ලද්දේ 2013.01.01 දිනට පසුව නම්, බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 234/ ඒ3 දරණ ස්ථානයේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙතද ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල යුතුය.

උප්පැන්න, මරණ හෝ විවාහ සහතිකයක පරිවර්තන පිටපතක් ලබා ගන්නේ කෙසේද?

බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 234/ ඒ3 දරණ ස්ථානයේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත හෝ වෙබ් අඩවියේ සඳහන් භාෂා පරිවර්තකයන් වෙත ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල යුතුය.

උප්පැන්න,  විවාහ සහ මරණ ලේඛනවල තොරතුරු නිවැරදි කිරිම හා සංශෝධනය

සිදුවීම සිදුවූ ස්ථානය අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල යුතුය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා හමුවී වැඩිදුර තොරතුරු ලබා ගන්න.

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නොමැති හෝ විදේශිකයන් ශ්‍රී ලංකාවේදී විවාහය ලියාපදිංචි කරවා ගැනීම සඳහා සම්පූර්ණ කල යුතු අවශ්‍යතා මොනවාද?

  • විවාහ දැන්වීම් භාරදීමට පෙර දින 04 ක කාලයක් දිවයින තුල පදිංචිවී සිට යුතුය.
  • වයස තහවුරු කිරීම සඳහා විදේශ ගමන් බලපත්‍රය හෝ ජාතික හැඳුනුම්පත හෝ උප්පැන්න සහතික
  • සිවිල් තත්ත්වය තහවුරු කිරීමට අවශ්‍ය ලියවිලි ( වැන්දඹු නම් කලත්‍රයාගේ මරණ සහතිකය/ දික්කසාද සහතිකය/ අවිවාහක සහතිකය)

තාවකාලික පදිංචි ප්‍රදේශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයා වෙත විවාහ දැන්වීම් භාර දිය යුතුය.

නොතාරිස් අංශය

ඉඩමට අදාල නීත්‍යානූකූල ලියවිලි  ලියාපදිංචි කර ගන්නේ කෙසේද?

ඉඩම පිහිටි ස්ථානය අයත් වන ඉඩම් ලියාපදිංචි කිරිමේ කාර්යාලයට අදාල ලියවිලි ඉදිරිපත් කරන්න. කාර්යාලයන් පිහිටා ඇති ස්ථාන වෙබ් අඩවියේ දැක්වේ.

ඉඩමට අදාල හිමිකම ලියාපදිංචි කර ගන්නේ කෙසේද?

ඉඩම පිහිටි ස්ථානය අයත් වන ඉඩම්/ හිමිකම් ලියාපදිංචි කිරිමේ කාර්යාලයට අදාල ලියවිලි ඉදිරිපත් කරන්න. කාර්යාලයන් පිහිටා ඇති ස්ථාන වෙබ් අඩවියේ දැක්වේ.

කේවියට් තහනමක් ලියාපදිංචියට භාර දීමේ දී ඒ සමඟ ඉදිරිපත් කල යුතු ලේඛන මොනවාද?

  • කේවියට් තහනම පිටපත් 2 කින් යුක්ත විය යුතුය.
  • ඉඩම සම්බන්ධයෙන් කේවියට්කරුට ඇති සම්බන්ධතාවය හෝ හිමිකම සනාථ කරන කේවියට්කරු‍ගේ දිව්රුම් පෙත්සම
  • ඒ සම්බන්ධව නිතිඥවරයකු විසින් නිකුත් කරනු ලබන සහතිකය
  • කේව්යට්කරු ඉඩමේ හිමිකරු නොවන විටෙක ඉඩමේ හිමිකරුවන් වෙත භ‍ාරදෙනු ලැබීම සඳහා x ආකෘතිය හා මුද්දර ගැසූ ලිපි කවර
  • කේවියට්කරු ඇටෝර්නි බලපත්‍රයක් දරන්නකු වන විට ඇටෝර්නි බලපත්‍රයේ මුල් පිටපතේ සහතික කල පිටපතක්

ඇටෝර්නි බලපත්‍රයක් ලියාපදිංචි කර ගන්නේ කෙ‍සේද?

ලියා සහතික කරන ලද සියලුම දේශිය හා විදේශිය ඇටෝර්නි බලපත්‍ර රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඕනෑම කලාප කාර්යාලයට හෝ දිස්ත්‍රික් සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයකට ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කල හැක.

ඔප්පුවක පිටපතක් ලබා ගන්නේ කෙසේද?

ඔප්පුව ලියා සහතික කල නොතාරිස්වරයා විසින් දෙවන පිටපත් භාර දෙනු ලබන කාර්යාලය වෙත සහතික පිටපත් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රයක් A32(B) නියමිත ගාස්තු සමඟ ඉදිරිපත් කිරීමෙන් ඔප්පුවක පිටපතක් ලබා ගත හැකිය.

පත්ඉරු පිටපතක් ලබා ගන්නේ කෙසේද?

ඉඩම පිහිටි ප්‍රදේශයේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත උධෘත පිටපත් ලබා ගැනීමට අදාලව A32(A) අයදුම්පත් පුරවා නියමිත ගාස්තු සමඟ ඉදිරිපත් කිරීමෙන් ලබා ගත හැක.

හිමිකම් ලියාපදිංචිය

හිමිකම් සහතිකය ප්‍රයෝජනයට ගැනීමේදී සැලකිය යුතු කරුණු ‌මොනවාද?

  • සහතිකය ලැමිනේට් කිරීමෙන් වලකින්න.
  • එය නැවීමෙන්, පොඩි කිරීමෙන් වලකින්න.
  • හිමිකම් සහතිකයේ යම් තොරතුරක් වෙනස් කිරීමෙන් හෝ එහි යමක් ලිවීම ‌‌නොකළ යුතුය.
  • මෙය අනවශ්‍ය අය අතට පත් කිරීමෙන් වලකින්න.
  • කෘමි සතුන්ගෙන් සිදුවිය හැකි හානියෙන් ආරක්ෂා කර ගන්න.

**යම් හෙයකින් ඔබගේ හිමිකම් සහතිකය අස්ථානගත වීමක් හෝ ඉහත සඳහන් කළ ආකාරයකින් විනාශ වීමක් සිදුවුවහොත් අදාළ ගාස්තුවට යටත්ව නව හිමිකම් සහතිකයක් ලබා ගැනීමට ඔබට සිදු වනු ඇත.මේ සඳහා ඉඩමට අදාළ  ප්‍රදේශයේ හිමිකම් රෙජිස්ට්‍රාර් වෙත යා යුතු වේ. contact-list

කැඩැස්තර සිතියමේ පිටපතක් ලබා ගන්නේ කෙසේද?

මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙත හිමිකම් සහතිකයේ තොරතුරු ඉදිරිපත් කිරීමෙන් කැඩැස්තර සිතියමේ පිටපතක් ඉල්ලුම් කළ හැකිය.

හිමිකම් සහතිකයට අදාළව පත් ඉරු පිටපත් ලබා ගන්නේ කෙසේද?

හිමිකම් සහතිකය නිකුත් කරන ලද හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත හිමිකම් සහතිකයේ තොරතුරු අයදුම්පතක්  මඟින් ඉදිරිපත් කර පත්ඉරු පිටපත් ලබා ගත හැකිය.

හිමිකම් සහතිකයක් නිකුත් කිරීමෙන් පසු ඉඩමකට අදාළව පසුගනුදෙනු කටයුතු සිදු කරන්නේ කෙසේද?

  • මෙම සහතිකය ලැබීමෙන් පසු සිදු කරනු ලබන සියලුම ගණුදෙනු හිමිකම් සහතිකය මඟින්ම පමණක් කළ යුතුය.
  • සියලුම පසු ගනුදෙනු අංක 2308/27 හා 2023-12-01 දිනැති අති විශේෂ ගැසට්පත්‍රයේ ප්‍රසිද්ධ කර ඇති සාධන පත්‍ර මගින් සිදු කල යුතුය.

හිමිකම් සහතිකයක් නිකුත් කර ඇති ඉඩමකට අතුරු බෙදීමක් හෝ ඒකාබද්ධ කිරීමක් සිදු කර ගත හැක්කේ කෙසේද?

  • ඉඩමේ හිමිකරු විසින් බිමිසවිය මැනීම් සඳහා බලය ලත් මිනින්දෝරු වරයෙකු වෙත හිමිකම් සහතිකය ඉදිරිපත් කර, ඉඩම සඳහා අතුරු බෙදීමේ පිඹුරක් හෝ ඒකාබද්ධ කිරීමේ පිඹුරක් සකස් කර ගත යුතුය. එසේ සකස් කර ගන්නා ලද පිඹුරේ දෘඩ පිටපත හා හිමිකම් සහතිකය ප්‍රසිද්ධ නොතාරිස් වරයෙකු වෙත ගෙන ගොස් අතුරුබෙදීමේ සාධන පත්‍රයක් සකස් කර එම සාධන පත්‍රය, හිමිකම් සහතිකය හා පිඹුරේ මෘදු පිටපත ද සමග අදාළ හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත ලියාපදිංචි ගාස්තු ගෙවා  භාර දීම. (1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි පනතේ 36 වගන්තිය)

සැලකිය යුතුය:

  • හිමිකම් සහකිකයට අදාළව විකිණීමේ ගිවිසුම් ලියාපදිංචි  වී ඇත්නම් අතුරුබෙදීම ලියාපදිංචි කිරීමට පෙර එම ගිවිසුම් අවලංගු කළ යුතුය. (අංක 2308 හා 2022.12.01 දිනැති රෙගුලාසි සංශෝධන අනුව)
  • එසේම මෙහිදී පාරක හෝ ප්‍රවේශ මාර්ගයක් හැර බෙදා වෙන් කර ගන්නා හෝ ඒකාබද්ධ කර ගන්නා ඉඩම් කොටස් සඳහා හවුල් අයිතිය තබා ගත නොහැකිය.

හිමිකම් සහතිකයක් නිකුත් කර ඇති ඉඩමක හිමිකරු මිය ගොස් ඇකි අවස්ථාවක උරුමකරුවන්ට අයිතිය පවරාගන්නේ කෙසේද?

අන්තිම කැමති පත්‍රයක් නොතබා මිය ගිය පුද්ගලයෙකු ගේ දේපළ සම්බන්ධව අදාළ ඉඩම පිහිටි ප්‍රදේශයේ හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් කාර්යාලය වෙත ගොස් උරුමකරුවන් විසින් තම අයිතිය සනාථ කිරීමෙන් පසු නව හිමිකම් ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කිරීම මඟින් නව හිමිකරුවන් නම් කිරීම සිදු කරනු ලැබේ.එම ගැසට් පත්‍රයට අදාළව නිරවුල් කිරීමේ කොමසාරිස් විසින් හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත ඉදිරිපත් කරන උපලේඛණ මත නව උරුමකරුවන් සඳහා හිමිකම් සහතික නිකුත් කරනු ලැබේ. (1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි පනතේ 55 වගන්තිය)

නිකුත් කළ හිමිකම් සහතිකයක හිමිකරුගේ නම,ජාතික හැදුනුම්පත්‍ අංකය, ලිපිනයෙහි වෙනස් වීමක් ( මුද්‍රණ දෝෂ) ඇත්තේ නම්  නිවැරදි  කරන ආකාරය කුමක්ද?

හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 58(1) විධිවිධාන අනුව ඉඩම අයිති ප්‍රදේශයේ හිමිකම් රෙජිස්ට්‍රාර් වෙත කරන ලද ඉල්ලීමක් අනුව (වෙනස පිළීබඳ අදාළ ලිඛිත සාක්ෂි ඉදිරිපත් කර) අනුව සංශෝධනය කළ හැකිය.

සැලකිය යුතුයි: මෙහිදී වරද සිදුව ඇත්තේ හිමිකම් ගැසට් කිරීමේදී නම් , අදාළ හිමිකම් නිරවුල් කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය වෙත පළමුව දැන්විය යුතුය. contact-list

දෙවන පන්තියේ හිමිකම් සහතිකයක් පළමු වන පන්තියට පරිවර්තනය කිරීම සිදු කරන්නේ කෙසේද?

හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 31  විධීවිධාන අනුව ඉඩමේ හිමිකරු විසින් හිමිකම් සහතිකය ලියාපදිංචි වී අවුරුදු 10 ක් ඉක්මගිය පසු අදාළ හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් කාර්යාලය වෙත ඉල්ලීමක් සිදු කල යුතුය.ඉන් පසු  හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් විසින්  සකස් කරන ලද උපලේඛණ හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත ඉදිරිපත් කළ පසු හිමිකම් රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අනුමැතිය අනුව එම හිමිකම් සහතිකය ප්‍රථම පන්තියේ හිමිකම් සහතිකයක් බවට පත් කරනු ඇත.

හිමිකම් සහතිකයක් අස්ථාන ගතවූ විට නව හිමිකම් සහතිකයක් ලබා ගත හැක්කේ කෙසේද?

පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කර එහි මුල් පිටපත,ඉල්ලීමේ ලිපිය හා දිවුරුම් ප්‍රකාශයක් ද  සමඟ අදාළ හිමිකම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත අදාළ ගාස්තු ගෙවා ඉදිරිපත් කිරීම මගින්.

ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ (LDO) වූ ඉඩමක්  වන හිමිකම් සහතිකයක් පිළිබඳ ඔබ විසින් තවදුරටත් දැන ගත යුතු දෑ මොනවාද?

  • ඔබේ ජීවිත භුක්තිය හෝ පසු උරුමකරුවන් මේ යටතේ ලියාපදිංචි කළ හැකිය.
  • රජයේ දීමනා පත්‍රයක් යටතේ ඔබ වෙත ලබා දී ඇති ඉඩමක් නම් , තව දුරටත් ඉඩම් සංවර්ධන ආඥා පනතේ කොන්දේසිවලට යටත් වනු ඇත.එවැනි ඉඩමක ගණුදෙනු අදාළ ප්‍රාදේශිය ලේකම්ගේ අනුමැතියට යටත්ව රජයේ ඉඩම් ආඥාපනත හඳුන්වා දී ඇති ආකෘති පත්‍ර පදනම් කර ගනිමින් පසුගණුදෙනු සිදු කිරීමට හැකියාව ඇත.

ලිපිනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමතන්න
+94 112 889 488 - 489

ලියන්න
info@rgd.gov.lk